ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීම් සම්බන්ධයෙන් වාර්තා කර තිබූ වැරදි දත්ත නිවැරදි කරන ලෙසට එම සංවිධානයට දන්වා යැවූ බව මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක පැවසීය.

ශ්‍රී ලංකාව සිය දිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වන ස්ථානයේ සිටිය ද පළමු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි ලෙ​ස දත්ත සකස් කර තිබූ බවට අධ්‍යක්ෂවරයා චෝදනා කළේ ය.

ඒ අනුව, කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුව ද සිය දිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩු වී නොමැති බව ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති වැඩමුළුවක් අමතමින් රොහාන් රත්නායක මේ බව කීවේය. දැනට ශ්‍රී ලංකාවේ පැය හතරකට එකක් වශයෙන් සිය දිවි නසා ගැනීම් වාර් තා වන බව පැවසූ අධ්‍යක්ෂවරයා ඒ ආකාරයට 2022 වසරේදී පිරිමි 2833ක් හා කාන්තාවන් 574 දෙනෙකු සියදිවි නසාගෙන තිබෙන බව පැවසීය.

එම වසරේදී ආර් ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සිය දිවි නසාගැනීම් වැඩිවීමක් සිදුව ඇති බව ත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දිවි නසාගැනීම්වල අසාමාන්‍යතාවක් පෙන්නුම් කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.

සිය දිවි නසාගැනීම්වලින් 66%ක් හැඟීම්වලට යටවීමෙන් ඊට පෙළඹී ඇතැයි පැවැසූ හෙතෙම කෘමිනාශක භාවිතයෙන් 18%ක් ජීවිත හානි කරගෙන තිබෙන බව සඳහන් කළේ ය.

මුදල් ගැටලු, මානසික රෝග, ඇල්කොහොල් භාවිතය, එකිනෙකා අතරේ සබඳතා බිඳවැටීම, පවුල් අර් බුද, පහර දීම්, බෙලහීනතාවන්, නිදන්ගත වේදනා හා රෝග වැනි හේතු මත වැඩි වශයෙන් වයසක පිරිමින්, තරුණියන්, සිරකරුවන්, සමලිංගිකයන්, ලිංගික විපර් යාසවලට ලක්වූවන් කෘමිනාශක භාවිතය, එල්ලී දිවි හානිකර ගැනීම, ඖෂධ වර්ග භාවිතය වැනි විවිධ ක්‍රමවලින් සියදිවි නසා ගෙන තිබෙන බව ද රත්නායක මහතා කීවේ ය.

2020, 2021, 2022 වර් ෂවලදී ජනගහනයෙන් ලක්ෂයකට 15.6%ක් වශයෙන් සිය දිවි නසාගැනීම් වාර් තා වන බවත්, සිය දිවි නසාගැනීම් එකට විස්සක් ලෙසින් ඊට තැත්කිරීම් වාර් තා වන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

පසුගිය වසරේදී සිය දිවි නසාගැනීමට උත්සහ කළ 90000ක් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කර ගෙන තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

ලෝකයේ දැනට තත්පර 40කට එකක් වශයෙන් සිය දිවි නසාගැනීම් වාර් තා වන බව පැවැසූ හෙතෙම එය වසරකට ලක්ෂ 8ක් වන බවත් පැවසීය. සිය දිවි නසාගැනීම් සිදුකරන පුද්ගලයන් හඳුනා ගැනීමට හා එහිදී කෘමිනාශක නිවැරදිව භාවිත කරන ආකාරය දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය දිස්ත්‍රික්ක 15ක පුහුණු වැඩසටහන් සිදුකළ බව ද රොහාන් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ ය.

Share.

Comments are closed.