ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් නතර කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලක් රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් විසින් දින දහහතරක් තුළ අධ්‍යනයක් කරමින් අදාළ වාර්තාව සකස් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමේ දී පවතින අඩු පාඩු සොයා ගනිමින් ජාත්‍යන්තර ආයතන එහි දී ගන්නා ක්‍රියාමාර්ගද සැලකිල්ලට ගනිමින් වාර්තාව සකස් කෙරේ.

පළමු ණය වාරිකය පිළිබඳ සමාලෝචන සාකච්ඡාව ලබන ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කිරීමට නියමිතය.

එම සමාලෝචනයට පෙර මෙම දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට නියමිතය.

ඉන් පසු ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරන සහතිකය මත ආයෝජන අවස්ථා පුළුල් කර ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

මෙහි දී ලක් රජය විනිවිදභාවයෙන් කටයුතු කිරීම, සහන ලබා දීමේදී සිදු විය යුතු විනිවිදභාවය, ජනතා බදුවලින් සිදු කරන වැඩ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීම, සහන සාධාරණව බෙදාදීම යන කරුණු කෙරෙහිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබේ.

කෙසේ වෙතත් දූෂණ විරෝධී පනත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Share.

Comments are closed.