මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් අ​ද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතය.

ඒ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට ගොනුකර ඇති පෙත්සම් දෙකකි.

ඒ අනුව, අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් සහ හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කළ තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැය ලේඛනය තුළින් ඇස්තමේන්තු කර තිබූ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් මේ මස 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන ද රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත තවත් අතුරු නියෝගයක් අධිකරණය විසින් නිකුත් කළ බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම නියෝගවලට අනුකූලව කටයුතු කර නොමැති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් චෝදනා කරමින් අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

Share.

Comments are closed.