ලෝක බැංකුව මගින් ​ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 750 ක ණයක්, අනෙකුත් පූර්ව අවශ්‍යතා කිහිපයක් අතර සුබසාධන ප්‍රතිලාභීන්ගේ සත්‍යාපනය සම්පූර්ණ කර නොමැති හේතුවෙන් ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා.

ප්‍රතිලාභීන්ගේ සත්‍යාපනය මාර්තු 31 සිකුරාදා වන විට අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් එය දැන් අප්‍රේල් 10 දක්වා කල් දමා ඇති අතර එමඟින් පහසුකම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙනවා.

වැඩසටහන යටතේ සුබසාධන ලබන්නන්ට මසකට රුපියල් 14,000ක් හිමිවේ. සමෘද්ධි ප්‍රතිලාභීන් කිහිප දෙනෙකු දරිද්‍රතා රේඛාවෙන් පහළ නොවන බවත්, එබැවින් ප්‍රතිලාභ හිමි නොවන බවත් IMF සහ ලෝක බැංකුව පෙන්වා දී ඇත. ‘සැබෑ’ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවක් සකස් කරන ලෙස රජයට දන්වා ඇත.

සති දෙකකට පෙර ලබාගත් IMF පහසුකම අනුගමනය කරමින්, ඩොලර් මිලියන 750 ක ණය ලබා ගැනීමට පූර්ව ​අවශ්‍යතා හයක් අතර සුබසාධන ප්‍රතිලාභී යෝජනා ක්‍රමය ද වෙනවා.

අනෙකුත් පූර්ව කොන්දේසි අතර පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් විවෘත කිරීම, ආදායම් එකතු කිරීම සහ දේශීය ආදායම් ගෙවීම් ඩිජිටල්කරණය කිරීම සහ මහ බැංකුවේ ප්‍රතිසංස්කරණ ඇතුළත් වේ.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් තහවුරු කළේ මේවා තවමත් ඉටුකර නොමැති ලෝක බැංකු පූර්ව අවශ්‍යතා බවයි. අවශ්‍යතා කිහිපයක් මේ වනවිටත් නිම වෙමින් පවතින බැවින් එම අවශ්‍යතා සියල්ල කඩිනමින් සම්පූර්ණ කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

සමාජ ආරක්ෂණ පනත් කෙටුම්පතක් ද රජය විසින් ඉදිරිපත් කළ යුතු අතර ඒ යටතේ සුබසාධන ගෙවීම් සිදු කරනු ලැබේ.

මෙම පනත් කෙටුම්පත මේ මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජුනි මාසයේදී එම වැඩසටහන ආරම්භ කළ හැකි බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න පැවසුවේ සමාජ ප්‍රතිලාභ සඳහා මේ වන විට අයදුම්පත් මිලියන 3.7 ක් ලැබී ඇති අතර අයදුම්කරුවන් මිලියන 2.4 ක් මේ දක්වා සත්‍යාපනය කර ඇති බවයි.

“සත්‍යාපනය සම්පූර්ණ කිරීමට ක්‍රියාවලි කිහිපයක් තිබේ. ඒවාට අභියාචනා ක්‍රියාවලියක් ඇතුළත් වේ. අපි කාලසටහනට අනුව කටයුතු කිරීමට උත්සාහ කරනවා,” ඔහු පැවසීය.

මේ අතර, පවතින ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවේ සුබසාධන ප්‍රතිලාභ ලබා දීමට උත්සාහ කරමින් රජය නව ක්‍රමයේ අත්හදා බැලීමක් සිදු කර ඇති අතර, සමහර ප්‍රතිලාභීන් එක් වරකට වඩා ලියාපදිංචි වී ඇති බවත් ඒ හේතුවෙන් රුපියල් මිලියන 500 ක් ඉක්මවා ගොස් ඇති බව සොයා ගෙන තිබෙනවා. නව පද්ධතිය QR කේත පද්ධතියක් මගින් නිරීක්ෂණය කිරීමට නියමිතය.

Share.

Comments are closed.