විදේශගත ශ්‍රමිකයින් විසින් ගුවන් තොටුපළෙන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා තීරුබදු රහිත දීමනාව ඔවුන් ශ්‍රී ලංකාවට එවා ඇති මුදල් ප්‍රමාණය අනුව වැඩි කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
මැයි 1 වැනිදා සිට මෙම පියවර ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව විදේශගත ශ්‍රමිකයින්ට ඔවුන් එවා ඇති මුදල් ප්‍රමාණය අනුව අමතර තීරුබදු සහන හිමිවන බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම සහන කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර
- USD 2,400 – 4,799 අතර මුදලක් එවා ඇති සේවකයන්ට USD 600ක අමතර තීරුබදු රහිත දීමනාවක් ලබා ගත හැක.
- USD 4,800 සහ 7,199 අතර ප්‍රේෂණය කර ඇති සේවකයින්ට USD 960 ක අමතර තීරුබදු සහනයක් හිමි වේ.
- USD 7,200 සහ USD 11,999 අතර ප්‍රේෂණය කළ සේවකයින්ට USD 1,440 ක අමතර තීරුබදු රහිත දීමනාවක් ලැබේ.
- USD 12,000 සහ USD 23,999 අතර ප්‍රේෂණය කර ඇති සංක්‍රමණික සේවකයින් අතිරේක USD 2,400 තීරුබදු රහිත දීමනාවක් සඳහා සුදුසුකම් ලබන අතර
- USD 24,000 හෝ ඊට වැඩි මුදලක් ප්‍රේෂණය කළ සේවකයින් ගුවන් තොටුපළේදී භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර USD 4,800 තීරුබදු රහිත දීමනාවක් සඳහා සුදුසුකම් ලබයි.
වසරක කාලයක් තුළ ඉහත සඳහන් මුදල් ප්‍රමාණය නිල මාර්ග ඔස්සේ මෙරටට එවා ඇති ඕනෑම අයකු මෙම සහනය සඳහා සුදුසුකම් ලබයි.
2022 මැයි 01 වැනිදා සිට බැංකු පද්ධතිය හරහා නීත්‍යානුකූලව මුදල් එවා ඇති විදේශගත ශ්‍රමිකයින්ට මෙම සහනය ලබා ගත හැකි අතර වසරක කාලයක් තුළ එවන ලද මුදල් ප්‍රමාණය මේ සඳහා සලකා බලනු ලැබේ. මෙම තීරුබදු සහන වැඩි කිරීම අඛණ්ඩව සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටෙද්දී විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩු වී පසුගිය මැයි මාසය වන විට විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා පහත වැටී තිබුණා. එකල මෙරටට මුදල් එවීමේදී වැඩිපුර භාවිත කළේ වාහල, උණ්ඩියල් ක්‍රමයයි. විදේශගත ශ්‍රමිකයින්ට සලකන ආකාරය ගැන එදා බරපතළ ප්‍රශ්නයක් තිබුණා. ලංකාවට මුදල් එවන එක නවත්වන්න කියලා ලොකු දේශපාලන ව්‍යාපාරයක් තිබුණා. ඒ වගේම සේවකයන්ගේ පැත්තෙන් අවිශ්වාසයක් තිබුණා තමන්ගේ සල්ලි ගන්නවා කියලා. මේවා විසඳීමට අපි විශාල වැඩ කොටසක් කර තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන් බැංකු ක්‍රමය හරහා නීත්‍යානුකූලව රටට මුදල් එවීමට දිරිගැන්වීම සඳහා අපි රජයක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.
විදේශගත ශ්‍රමිකයාට නිසි ගෞරවය හා නිසි සැලකිලි ලබාදීමේ වැඩපිළිවෙළක් අපි සකස් කළා. අපි සංක්‍රමණික සේවකයින් සඳහා ‘The Hope Gate’ නමින් වෙන්වූ පිවිසුමක් ගුවන් තොටුපලේ විවෘත කළා. විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් යම් වැඩ කොටසක් කිරීමට අපට හැකි වුණා. ඒ වගේම ඩොලර් මිලියන 500ක් එවන්න කියලා රජයේ සම්පත් පාවිච්චි නොකර විදේශගත ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළා.
සංක්‍රමණික සේවකයන්ට විදුලි වාහනයක් ආනයනය කිරීමට ඉඩ දීමටත්, නිවාස ණය ලබා දීමටත්, තවත් බදු සහන ලබා දීමටත් අපි කැබිනට් අනුමැතිය ලබා ගත්තා. දැන් මෙරටට විදුළි වාහන ආනයනය කිරීමට අවසර ඇත්තේ විදේශගත ශ්‍රමිකයන්ට පමණි. මේ නිසා ඩොලර් මිලියන හතක් රටට ලැබී තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ද තීරණය කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකුව, රේගුව, ඇතුළු සියලුම බැංකු සමඟ දීර්ඝ සාකච්ඡාවකින් පසු විදේශගත ශ්‍රමිකයන්ට අඩු පොලී ණයක් ලබාදීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. විදේශ ශ්‍රමිකයා මෙරටට එවන මුදල් ප්‍රමාණය අනුව තෑගි වවුචර් ලබාදීමේ ක්‍රමයක් ද අපි හඳුන්වා දී තිබෙනවා. විදේශගත ශ්‍රමිකයින් බැංකු පද්ධතිය හරහා නීත්‍යානුකූලව මෙරටට මුදල් එවීමට දිරිගැන්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
විදේශගත ශ්‍රමිකයන් විසින් මාසිකව එවන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම අපගේ අරමුණයි. ඉන්දියාවේ විදේශගත ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව එවන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 100 දක්වා ඉහළ ගොස් තිබේ. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් මාසිකව ඩොලර් බිලියනයක් ගෙන්වා ගැනීම අපහසු ඉලක්කයක් නොවේ.
විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් රටට හොඳ ප්‍රයෝජනයක් ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා. ඒ නිසා තමයි දූෂණ විරෝධී පනත ගෙන එන්නේ. ඵලදායිතා කොමිසමක් හදලා මින් ඉදිරියට දේශපාලන අවශ්‍යතා අනුව කුළුණු හදන්න මුදල් වියදම් කරන එක නවත්වනවා. ආයෝජන සිදු කරනු ලබන්නේ ආයෝජනවල ඵලදායීතාවය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුව පමණි.
විදේශ ශ්‍රමිකයින් එවන මුදල් සහ විදේශ විනිමය වශයෙන් බැංකුවල තබා ඇති මුදල් සඳහා කිසිදු බද්දක් අය නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.