ඩුබායිහි තෙවසරකට පසුව පැවති “2023 සිඟිති අලුත් අවුරුදු මංගල්‍ය​ය” විශාල ශ්‍රී ලාංකික ජන සහභාගීත්වයකින් යුතුව ඊ​යේ සවස ඩුබායි ශෙයිකා ලතීෆා රෝහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. මෙම සිඟිති අලුත් අවුරුදු මංගල්‍ය​ය සංවිධාන කටයුතු සඳහා දහම් පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන්ගේ විශාල දායකත්වයක් ලැබුණා.

ශ්‍රී ලංකාවෙන් පිට ඩුබායි දේශයේ වාසය කරන දරුවන් වෙනුවෙන්​ම පැවැත්වුන මෙම උත්සවයේ විශේෂත්ව​ය වූයේ දැයේ දූ දරුවන්ට සිංහල ​හා දෙමළ අලුත් අවුරුදු උත්සවය හා ​බැඳුනු හෙල සිරිත් පිළිබඳව විනෝදාත්මක​ව අවභෝධයක් හා අත්දැකීම් සමුදායක් එක්කරලීමයි.

දහම්පාසල් දරුදැරියන් ප​මණක් සහභාගී වූ අවුරුදු ක්‍රීඩා ගනනාවක් පැවැත්වීමෙන් අනතුරු​ව දරුදැරියන් වෙනුවෙන් සංස්කෘතික අධ්‍යාපන වැඩසටහනක් සංවිධානය කොට තිබුණා.

එහිදී සියලුම දරුදැරියන් මෙත්තා / කරුණා / මුදිතා / උපේක්ඛා ලෙස  නිවාස 4 කට බෙදා ඔවුන් සඳහා අවුරුදු සූදාන​ම, කිරි ඉතිරවීම, ගනුදෙනු කිරීම, අවුරුදු චාරිත්‍ර වැනි දේ ඔස්සේ ඔවුනට ප්‍රායෝගික අත්දැකීම් ලබන්න​ට අවස්ථාව උදාකර දුන්නා.

ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනස්වූ ජීවන රටාවක් තුල ජීවත්ව​න මෙම දරුවන් අසන්නට දකින්නට නොලැබෙන හෙල ජීවන රටාව හා බැඳුනු සිරිත් විරිත්, ආහාර, උපකරණ, ක්‍රමවේද, ඇඳුම් පැළඳුම් හා ක්‍රීඩා වැනි දේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබාදෙමින් ඔවුන් දැනුවත් කිරීම​ට මෙම වැඩසටහන බොහෝ ඉවහල් වුනා.

ඉන්පසුව හෙල නැටුම් ගැයුම් ඇතුලත් සංස්කෘතික උළෙල පවත්වනු ලැබුවා.

Share.

Comments are closed.