සම්බුදු තෙමගුල වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජයෙහි පැවැත්වෙන ඩුබායි වෙසක් මංගල්‍යය – 2023 මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

ඩුබායිහි ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී මැයි මස 13 වැනි සෙනසුරාදා සවස 4 සිට රාත්‍රී 9 දක්වා මෙම වෙසක් මංගල්‍ය​ය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී වෙසක් මංගල්‍යයේ අසිරිය ලොවට විදහා පාමින් වෙසක් පෙරහැර, වෙසක් පහන් කූඩු, වෙසක් තොරණ, බක්ති ගී, වෙසක් නාට්‍ය හා දන්සල් සමගින් වෙසක් මංගල්‍යය – 2023 ඉතා වර්ණවත්  අන්දමින් සැමරීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා.

මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් අඩි 22 ක් උස දර්ශණීය තොරණක් සහ දන්සැල් 17ක් සංවිධානය කොට තිබෙනවා. මෙහිදී පහත දැක්වෙන දන්සැල් මගින් ආහාර පාන ඇතුළු දේ බෙදාදීමට නියමිතයි:

බත් දන්සැලක්,  කඩල සහ වතුර බෝතල් දන්සැලක්, ෂෝර් ට් ඊට්ස් දන්සැල් දෙකක්, අයිස් ක්‍රීම් දන්සැල් දෙකක්, කඩල දන්සැලක්, සීනිසම්බල් සම​ග පරිප්පු ස​හ පාන් + සරුවත් සහ Orange Juice දන්සැලක්, කඩල සහ බෙලිමල් දන්සැලක්, වතුර කප් දන්සැලක්, මඤ්ඤොක්කා දන්සැලක්, සීනිසම්බල් බනිස් සහ සරුවත් දන්සැලක්, සව්කැඳ දන්සැලක්, අයිස් කෝපි දන්සැලක්, French Fries දන්සැලක්, තේ දන්සැලක් සහ දහම් පොත් දන්සැලක් ඇතුලත් වෙනවා.

වෙසක් පෙරහැර ආරම්භය සවස 4 ට සිදුකරණු ලබන අත​ර වෙසක් සංස්කෘතික මංගල්‍යය සවස 6​ ට ආරම්භ කිරීමට නියමිතයි.

වෙසක් මංගල්‍යයේ කටයුතු මෙහෙය වීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය, ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකි​ක කලා ආයතන, සියලුම ශ්‍රී ලාංකි​ක ස්වෙච්ඡා ආයතන හා සියලුම ශ්‍රී ලාංකි​ක වෘත්තී​ය සංවිධාන විසිනි.

Share.

Comments are closed.