විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ඇමරිකාවේ සිට පැමිණි යුවළකට අයත් ඇඳුම් ආයිත්තම් බෑගය ගුවන් තොටුපළේ බෑග් කවුන්ටරයේදී සොරකම් කළ පුද්ගලයකු පැය හතළිස් අටක් ගත වන්නට පෙර මාවනැල්ලෙන් කොටු කරගෙන ඇත.

එම බෑගයේ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරකට අධික වටිනාකමකින් යුත් එක් ඇඳුම් කට්ටලයක් වැල්ලම්පිටියේ පුද්ගලයකුට රුපියල් දෙදහසකට විකුණා තිබියදී සොයාගෙන ඇත. රුපියල් දෙදහසට එය මිලදී ගත් පුද්ගලයා එය රුපියල් 4500කට වැල්ලම්පිටියේදී ඇඳුම් කුලියට දෙන තැනකට විකුණා තිබී ඇත.

මෙම ඇඳුම් බෑගය නැතිවීම සම්බන්ධව හිමිකරුවා විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත ගුවන් තොටුපොළ ආරක්ෂක ඒකකයේ සතු CCTV කැමරා ඒකකය මගින් සැකකරු හඳුනා ගැනීමට පියවර ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්ත​මේන්තුව හා රාජ්‍ය ඔත්තු සේවාවද විමර්ශන සඳහා සහාය වෙමින් සැකකරු හඳුනාගෙන ඇත. සැකකරු ගුවන් තොටුපොළේදී නැගගත් කුලී රථයෙන් ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් බැස යාම නිසා මුල් පදිංචි ස්ථානය සොයා කළ දීර්ඝ විමර්ශනයකදී මාවනැල්ලේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කුවේට් රාජ්‍යයේදී වීසා නොමැතිව හසුවී මෙරටට පිටුවහල් කළ අයෙකි. කුවේට් සිට පිටුවහල් කරද්දී බෑගයක් නොමැතිව පැමිණි නිසා ගමට යාමට ඇති ලජ්ජාව නිසා අතට හසුවූ බෑගයක් රැගෙන ගිය බවත් වැල්ලම්පිටියෙන් බැස මත්කුඩුවලට ඇබ්බැහිවූවකුට මංගල ඇඳුම් කට්ටලය විකුණා ගිය බවත් සැකකරු පවසා ඇත.

මොහමඩ් තවුතිස් අහමඩ් (26) නමැති සැකකරුගේ නිවසේ තිබී සොරකම් කරන ලද බෑගය හා එහි තිබූ විවාහ මංගල්‍යයට රැගෙන ආ සපත්තු ඇතුළු දෑ හමුවී තිබේ.

Share.

Comments are closed.