ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත 2.5% කින් (පදනම් අංක 250 කින්) අඩු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගියදා පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත.

මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.5% සිට 13 %දක්වා ද මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% සිට 14% දක්වා ද අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අපේක්‍ෂා කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය සහ උද්ධමනාත්මක පීඩනයන් අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ.

මැයි මාසය අවසන් වනවිට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ද ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ඉක්මවා ගොස් ඇතැයි ද එසේම ඉකුත් අප්‍රේල් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 454ක විදේශ විනිමය ප්‍රේෂණ රටට ලැබී ඇතැයි ද මහ බැංකුව තවදුරටත් පවසයි.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මහ බැංකු මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ මහ බැංකුව විසින් සිදුකරන ලද මේ පොලී අනුපාත අඩුකිරීමේ සහනය, බැංකුවල වෙළෙඳපොළ පොලී අනුපාත අඩුවීම හරහා ඉතා ඉක්මනින්ම මහජනතාවට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

Share.

Comments are closed.