විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ රැකියා සදහා පිටත්ව යාමෙට පෙර ලබාගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණි. එම ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය,  දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්තියේ සිට 392 වැනි වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩ කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 400 වැනි වගන්තියේ සිට 403 වැනි වගන්තිය දක්වා ඇති වංචා කිරීම, වි​ෂවර්ග, අබිං සහ අන්තරායක ඖෂධ ආඥා පනත යටතේ මහේස‍්‍ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩු මෙසේ පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත.

මීට අමතරව කිසියම් පුද්ගලයෙක් නීතිමය කටයුත්තකින් නිදොස් කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයද පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමද අවශ්‍ය නොවේ.

එහෙත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පරමාර්ථ කරගත් සියලුම පනත් යටතේ ඇති වරදවල් හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හදුන්වාදෙන ලද පනත් යටතේ ඇති වරදවල් සම්බන්ධ පෙර වැරදි පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ පොලිස් වාර්තාවලට  සුළු වැරදි සහ නිදොස් කොට නි​දහස්වූ අධිකරණමය කරුණු සම්බන්ධයෙන් ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අපෙක්ෂිතයින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් ඔහු කැබිනට් මණ්ඩලයේද අවධානය යොමු කර තිබූ  අතර පොලිස් වාර්තා ඉදිරිපත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට ඉල්ලා තිබුණි.

Share.

Comments are closed.