පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කර අලුතින් නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වඩා සුදුසුය යන මතයේ රජය සිටින බවත් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් ඒ මහතා පැවසීය.
අකුරණ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේද පැවසුවේය.
“පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. එම ඡන්දය මේ අවුරුද්දේ පවත්වන්න ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. ඒ නිසා ලබන වසරේ මුල පළාත් පාලන මැතිවරණය පවත්වන්න අපි සූදානමින් ඉන්නවා. නාමයෝජනා කැඳවූවත් මැතිවරණය වසර දෙකක පමණ කාලයක් තිස්සේ පැවැත් වුණේ නැහැ. මේ වනවිට නාමයෝජනා ලබාදුන් ඇතැම් අය මිය ගිහින්. තවත් අය විදේශ ගතවෙලා. සමහර අය දේශපාලන වශයෙන් වෙනස් වෙලා. පාර්ලිමේන්තුව තුළ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කරලා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරලා අලුතින් නාමයෝජනා කැඳවලා ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වනවා නම් හොඳයි කියන මතයේ අපි ඉන්නවා. ඒ සඳහා සෙසු පාර්ශ්වයන්ගේ අදහස් විමසලා පනත සංශෝධනයකින් පසුව මැතිවරණයකට යන්න පුළුවන් ද කියන තත්ත්වය අපි විමසා බලමින් සිටිනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එක්ක ගැටෙන්නේ නැතුව කරන්න පුළුවන්ද කියලා අපි මැතිවරණ කොමිසමෙන් අදහස් විමසලා ඉදිරි පියවර ගන්න සූදානම්.
අය-වැය මාර්තු මුල ඉදිරිපත් කළ යුතුයි. ඊට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපි අදහස් කර තිබෙනවා. දින වකවානු තාම තීරණය කරලා නැහැ. පළාත් සභා මැතිවරණය පවත්වන්න යම් නීතිමය බාධාවක් තිබෙනවා. සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. පැවැති සමානුපාතික ක්‍රමය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම තමයි වඩාත් සුදුසු කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ තීන්දුවක් ගත යුතුයි. ඒ තීන්දුවක් එක්ක තමයි පළාත් සභා මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීමට සිදු වෙන්නේ.”