ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇත.
වසර 2023 මාර්තු 20 වැනි දින IMF විසින් ඩොලර් බිලියන 03ක ණය පහසුකමක් අනුමත කරන ලැබූ බවත්, ඉන් වාරික 02ක් මේ වනවිට මෙරටට ලබා දී ඇති බව ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා කීය. පීටර් බෲවර් මහතා මේ බව කියා සිටියේ ඉකුත් 23 වැනිදා කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඔහු සමඟ මේ මාධ්‍ය හමුවට එහි නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සියරිනා ස්වර්යඩ්සෙන්කා මහත්මියද එක්ව සිටියාය.
“වසර හතරක විස්තීර්ණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනයේ දී ජා.මූ. අරමුදලෙහි කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණු බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු.
මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ඉදිරි කාලසීමාව තුළ ජා.මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත. විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක් (එ.ජ.ඩොලර් මිලියන 333ක් පමණ) සඳහා ප්‍රවේශය ලැබෙනු ඇති අතර, ඒ අනුව මෙම පහසුකම යටතේ ජා.මූ.අරමුදල විසින් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දුන් සමස්ත අරමුදල් ප්‍රමාණය වි.ගැ.හි.මිලියන 1,016ක් (එ.ජ.ඩොලර් මිලියන 1,333ක් පමණ) වනු ඇත.
විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතියි.
මහ බැංකුව විසින් සිදු කරන ලද සැලකිය යුතු ලෙස ඉහළ විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 ඔක්තෝබර් මාසය අවසානයේ දළ නිල සංචිත එ.ජ.ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩි විය. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත.
සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2024 ජූනි මස අවසානයට මෙන්ම සැප්තැම්බර් මස අවසානයට අදාළ සියලු ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමඟ වැඩසටහන් කාර්යසාධනය ශක්තිමත් විය. 2024 ඔක්තෝබර් මස අවසානයට පෙර සිදු කිරීමට නියමිතව පැවති බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු නිසි කලට සම්පූර්ණ කර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. මැතිවරණ ක්‍රියාවලිය හේතුවෙන් ඇතැම් මිනුම් දඬු සපුරා ගැනීම ප්‍රමාද විය. වැඩසටහනේ අරමුණුවලට නව රජයේ ඇති කැපවීම, අවිනිශ්චිතතාව අඩු කර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. වැඩසටහන තුළින් ලබාගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා ලෙස යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙනඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව තිරසරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. අර්බුදය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයටම බලපෑ බැවින්, ආර්ථික වර්ධනයේ ප්රතිලාභ නිසි ලෙස බෙදා හැරීම, සහතික කිරීම වැදගත් වනු ඇතැයි බෲවර් මහතා කීය.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසරභාවය නැවත ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වගකීම්සහගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
වැඩසටහන් ප්‍රමිතීන්ට අනුකූලව 2025 වසරේ අය වැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් අර්බුදයෙන් ඇතිවන අපහසුතා බදු ගෙවන්නන්ගේ එයට දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම මඟින් රාජ්‍ය ආදායම් අහිමිවීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ වියදම් ඇතුළු වියදම් සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත. ඉන්ධන සහ විදුලි මිල ගණන් පිරිවැය ප්‍රතිසාධන මට්ටමක පවත්වා ගැනීම සහ දිගු කාලයක් පුරා පවත්නා ණය නිරාකරණය කිරීම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් පැනනඟින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.
මෙම දුෂ්කර අවස්ථාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇත. සමාජ වියදම් සඳහා වැඩසටහනේ දක්වා ඇති අවම වියදම් ඉලක්කය සපුරාලීමට දරන උත්සාහයන් ශීඝ්‍ර කිරීම සහ විශේෂයෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ජාල ඉලක්ක කිරීම, ඒවායෙහි ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩිදියුණු කිරීම වැදගත් වේ.
උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයෙන් අඩු වී ඇති අතර මිල ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම තහවුරු කිරීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාවට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය කිරීමක් අවශ්‍ය වේ.
නව රජයේ ජනවරම පාලන ප්‍රතිසංස්කරණ නැවත පණගන්වනු ඇති අතර එමඟින් දූෂණ අවදානම් අවම කිරීම, ආර්ථික විශ්වාසය යළි ගොඩනැංවීම සහ වඩාත් ශක්තිමත් සහ සැමට ප්රතිලාභ සැලසෙන වර්ධනයක් ළඟා කර ගැනීම සිදු වනු ඇත.
ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන සහ රජයේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජා.මූ. අරමුදලේ කණ්ඩායම සාකච්ඡා පැවැත්වීය.
ජා.මූ. අරමුදලේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමු වී තිබේ.