හොරු ඇල්ලීම නිශ්චිත ක්‍රමවේදයක් මත සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) කළුතර, කටුකුරුන්දේ පැවති ජනතා හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
මෙවැනි ආණ්ඩුවක් ඉතිහාසයේ හැදෙන්නෙ නැති බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද පැවසීය. මැති ඇමැතිවරුන්ට තිබෙන සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට මුදල් රැගෙන එන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වර්තමාන ඇමැතිවරුන් සුඛෝපභෝගී වාහන, ඇමැති මන්දිර පාවිච්චි නොකරන බව ද සඳහන් කළේය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, නුවර ජනාධිපති මන්දිරය හැර අනෙකුත් ඒවා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මෙතෙක් සිටි පාලකයන් මහජන මුදල් අයුතු ලෙස භාවිත කරමින් සැප විඳි බව සිහිපත් කළේය. ජනතාවට දේශපාලන වෙනසක් අවශ්‍ය වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියා කරන බව ද කීය. වැටෙන්න පුළුවන් පතුලටම වැටුණු රටක් ජාතික ජන බලවේගය භාරගත් බව ද එම රට ගොඩනැඟීමට පියවරෙන් පියවර ජාතික ජන බලවේගය කටයුතු කරන බව ද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේදී ඉන්දියාව ඉතා වැදගත් බව ද කී ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඉන්දියාව සමඟ සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ බව ද පැවසීය. ආසන්න වශයෙන් රුපියල් දහ ලක්ෂ විසිදහසක ආධාරයක් චීනයෙන් ලැබුණ බව ද පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙමඟින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට සහ පොදු සේවාවන් වර්ධනය කිරීමට ඒ මුදල් යොදවන බව ද පැවසීය.