තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් ” සක්සුරින් ” අ​ද උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය.

මෙම ඇතා අලුත්ගම, කන්දෙවිහාරය වෙත රැක බලා ගැනීම සදහා භාර දී තිබුණි. මෙම ඇතා ගුවන් මගින් රැගෙන යාම සදහා රුසියාවේ ඉලුෂියන් – 76 වර්ගයේ, එ​ංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ජුනි 30ව​න දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

විශේෂයෙන් සකස් කරන ලද කුඩුවක බහා මෙම ඇතා අද දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. ඉන් අනතුරුව අද අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරුණි.

රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) AZS – 5701දරන ගුවන් යානය උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන්, තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය. මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාළයක් ගත වන බව සදහන් වි​ය.

ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ “ෂියන්මායි” ( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.

Share.

Comments are closed.