ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට ඊයේ සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබූහ.

වර්ෂාවෙන් තර​ඟයට බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 31 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 29 දී ලකුණු 196 ක ඉලක්කයක් භාර වූ අතර එම ඉලක්කය ඕවර 26.5 කදී සම්පූර්ණ කිරීමට චමරි අතපත්තු ඇතුළු පිතිකාරියෝ සමත් වූහ.

චමරි අතපත්තු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්ඳු 80 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සමත් වූවාය.

චමරි අතපත්තු මෙම තරඟ තුනේදී රැස්කළ දෙවැනි ශතකය මෙය වන අතර චමරි මෙහිදී පන්දු 60 කින් ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 කදී කඩුලු 2 ට 127 (සුසි බාටිස් නොදැවී 63, සොපී ඩෙවිනේ නොදැවී 38) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 26.5 කදී කඩුලු 2 ට 196 (චමරි අතපත්තු නොදැවී 140, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 28)

Share.

Comments are closed.