මේ වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ​යේ මැදිහත් වීමෙන් සාත්තු සේවක රැකියා සඳහා ඊශ්‍රායලය වෙ​ත යැවූ සේවක සංඛ්‍යාව දෙසීය ඉක්මවයි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකරන ලදී. 

මෙම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 69 වන ශ්‍රමික කණ්ඩායම වන අතර එම පිරිස අගෝස්තු දෙවන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මේ වසරේ මුල් මාස 06 තුලදී පමණක් ශ්‍රී ලාංකිකයන් 202 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමක​ට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share.

Comments are closed.