පරිසර දූෂණය සඳහා වැඩි වශයෙන් දායක වන පොලිතීන්, ජීර්ණය කරවන දිලීරයක් සොයාගැනීමට කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයීය ශාක හා අණුක ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය රේණුකා එන්. අත්තනායක මහත්මිය එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන පර්යේෂක වශයෙන් කටයුතු කළා.

වියළි කලාපයේ වනාන්තරවල දෘඩ දැව ජීර්ණය කරන වයිට් රොට්ස් දිලීර මේ පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර, එහිදී වයිට් රොට් දිලීරවලට නිපදවිය හැකි එන්සයිම වර්ග මොනවාදැයි පරීක්ෂා කර තිබුණා.

මෙහිදී මේ දිලීර ඉතා ප්‍රබල එන්සයිම නිපදවන බව හඳුනාගෙන තිබෙන අතර, දැව ජීරණය කරවන දිලීරවලට පොලිතීන් දිරාපත් කිරීමේ හැකියාවක් පවතින්නේ දැයි අධ්‍යයනය කිරීම මේ පර්යේෂණය යටතේ සිදුවුණා.

මෙහිදී දිඹුලාගල වියළි කලාපීය වන රක්ෂිතයෙන් හමු වූ දැවවලින් දිලීර සාම්පල 50ක් පමණ වෙන් කරගැනීමෙන් අනතුරුව, ඒ අතුරින් තෝරාගත් දිලීර කිහිපයක් යොදාගෙන ඒවාට පොලිතීන් ජීර්ණය කරවීමට ඇති හැකියාව පරීක්ෂා කර තිබෙන අතර ඒ තෝරාගත් දිලීර අතර සමහර දිලීරවලට විශේෂ ඉතා ඉහළ ජීරණය කරවීමේ හැකියාවක් පවතින බවට සොයාගෙන තිබෙනවා.

වසර හතක් පුරා විවිධ ක්‍රම ඔස්සේ පර්යේෂණ සිදු කර තිබෙන අතර, පර්යේෂණ කණ්ඩායම මෙහිදී සොයාගෙන ඇත්තේ මාධ්‍ය ලෙස දැව, පොලිතීන්, දිලීරය සහ දිලීරය වැඩීමට අවශ්‍ය විවිධ පෝෂක කොටස් එකතු කළ ක්‍රමවේදය තුළ වර්ධනය වන එන්සයිම තුළින් පොලිතීන්වල ගුණ වෙනස් වී දිරාපත් වීමට අවශ්‍ය පසුබිම සැකසිය හැකි බවයි.

එහෙත් මේ දිලීර, මාධ්‍යක් ලෙස දැව නැති අවස්ථාවලදී ආහාරයට යමක් නොලැබෙන නිසා පොලිතීන් ආහාරයට ගන්නා බව සොයාගත හැකිව තිබෙන අතර, ඒ අනුව පොලිතීන් ෂීට්ස්වලට තෝරාගත් දිලීර එකතු කිරීමෙන් දින 45කට පමණ පසු පොලිතීන්වල ගුණ වෙනස් කර ජීර් ණය කිරීමේ හැකියාවක් ඒ දිලීරවලට ඇති බව පර්යේෂණ කණ්ඩායම විසින් හඳුනාගෙන තිබෙනවා.

මේ ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ දිලීර පරිවෘත්තීය වශයෙන් නම්‍යශීලි වීම බවයි මහාචාර්ය රේණුකා එන්. අත්තනායක මහත්මිය පැවසුවේ.

Share.

Comments are closed.

Exit mobile version