ඉන්දියාව සහ නේපාලය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති ආසියානු කුසලාන තර​ඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 3 ක් ලබා ‘A’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමටද ඉන්දියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව වර්ෂාව හේතුවෙන් ඕවර 2.1 ක් අවසානයේ තර​ඟය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබා සිටියේය. වර්ෂාව නිමාවී තර​ඟය යළිත් ආරම්භ වන විට ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ඕවර 23 කදී ලකුණු 145 ක් බවට පත්විය.

පන්දු 17 ඉතිරිව තිබියදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර යෑමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූ අතර නායක රෝහිත් ශර්මා පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 74 ක්ද, ශුන් ගිල් පන්දු 62 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 67 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලය ඕවර 48.2 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230 ක් ලබාගත්තේය. නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු අසීෆ් ෂෙයික් පන්දු 97 කින් ලකුණු 58 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. සෝම්පාල් කාමි පන්දු 56 කදී ලකුණු 48 ක්ද, කුෂාල් භූර් තෙල් පන්දු 25 කදී ලකුණු 38 ක්ද රැස්කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා සිය ඕවර 10 ලකුණු 40 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර නේපාල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මොහොමඩ් සිරාජ් ලකුණු 61 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.

නේපාලය – ඕවර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 230

(කුෂාල් භූර්තෙල් 38, අසීෆ් ෂෙයික් 58, ගුල්සෙන් ජා 23, දීජේන්ද්‍ර සිං 29, සෝම්පාල් කාමි 48, රවින්ද්‍ර ජදේජා 40/3, මොහොමඩ් සිරාජ් 61/3)

ඉන්දියාව – ඕවර 20.1 කදී කිසිවකු නොදැවී ලකුණු 147

(රෝහිත් ශර්මා නොදැවී 74, ශුඩ්මන් ගිල් නොදැවී 67)

Share.

Comments are closed.