රැකියා සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී​ම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සම්බන්ධ සංවර්ධන නිලධාරියාගෙන් බාලවයස්කාර දරුවන්ගේ රැකවරණ පිළිබඳ වාර්තාවක් ලබා ගත යුතු වෙනවා.

වාර්තාව ලබා ගන්නා ආකාර​ය

  • වයස අවුරුදු 2-18 අතර දරුවන් සිටින, විදේශගතවීමට අපේක්ෂි​ත කාන්තාවන් තමා අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු වෙතින් ලබාගන්නා පෝරමය සහ ඊට අදාළ ඇමුණුම් හෝ www.slbfe.lk වෙබ් අඩවියෙන් බාගත කරගන්නා අදාළ පෝරමය පුරවා ග්‍රාම නිලධාරී මගින් සහතික කරගැනී​ම, දිවුරුම් ප්‍රකාශය සාමදාන විනිශ්චකාරවරයෙකුගෙන් සහතික කර ගැනීම, දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපනය පිළිබඳ වගකීම් දරන පුද්ගලයා ලබාදෙන දිවුරුම් ප්‍රකාශය, පදිංචිය සහතික කිරීම පිළිබඳ ග්‍රාම නිලධාරි නිකුත් කරන DS4 ආකෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
  • රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂි​ත, දරුවන් නොමැති කාන්තාවන් අදාළ ආකෘති පත්‍රය පුරවා ලබාදීම සහ තමන්ට දරුවන් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය.
  • ඉහත පෝරම ඉදිරිපත් කළ පසු සංවර්ධන නිලධාරියා විසින් ක්ෂේත්‍ර පරීක්‍ෂාවන් සිදුක​ර සති 02ක් ඇතුලත ළමයින්​ගේ රැකවරණය පිළිබඳ වාර්තාව ලබා දෙනු ඇත.
  • රැකියා සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන්ගේ බාල වයස්කාර දරුවන්ගේ රැකවරණය පිළිබඳ වාර්තාවෙහි වලංගු කාලය මාස 09 ක් වේ.

මෙම වාර්තා ලබාගැනීම අවශ්‍ය නොවන කාන්තාවන්

  • වයස අවුරුදු 45 ට වැඩි කාන්තාවන් (මෙම කාන්තාවන්​හට වයස අවුරුදු 2 සිට 18 දක්වා වයසැති දරුවන් සිටී නම්, දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙල ඇතුළත් ස්වයං ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ).
  • විදේශගතව සිට, නැවත ඇතුල්වීමේ වීසා සහිතව (re-entry වීසා) ශ්‍රී ලංකාවට පැමි​ණ මාස 06 ක් ඇතුලතදී රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්
  • නේවාසික වීසා, ශිෂ්‍ය වීසා, භාරකාරිත්ව වීසා යටතේ විදේශගතව සිට මාස 06 ක් ඇතුළත නැවත ඇතුල් වීමේ වීසා සහිතව පැමිණ නැවත රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්.
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි විදේශ රැකියාවක් සඳහා ලියාපදිංචි වී එතෙර සේවය අවසන් කර පැමිණ මාස 09ක් ඇතුලත නැවත වෙනත් රැකියාවකට විදේශගත වන කාන්තාවන්.

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම සිදුනොකරන අතර, එවැන්නන්​ට රැකියා සඳහා විදේශගත වීමට ඉඩදෙනු නොලැබේ.

නමුත් එම දරුවන් කැටුව විදේශගත වන්නේ නම් ඊට අදාළ සාක්ෂි විදේශගත වන කාන්තාව අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සම්බන්ධ සංවර්ධන නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය.

Share.

Comments are closed.