විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට සිදු කර තිබෙන ප්‍රේෂණයන්හි වටිනාකම රුපියල් කෝටි 123,600ක් (අමෙරිකානු ඩොලර් මිලියන 3,863) දක්වා ඉහළ ගොස් තිබේ.

රටේ ආර්ථිකය සවිමත් කිරීමෙහිලා ඍජු දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය වසරේ සිදුකර තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 2,215ට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

මේ වසරේ අගෝස්තු මාසයේදී පමණක් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිදු කර තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණවලට සාපේක්ෂව වර් ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

තාවකාලික දත්ත මත පදනම්ව මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 311,056කි. මේ අතර මේ වසරේ ජූලි මාසයේදී වාර්තා වූ සංචාරක පැමිණීම් 143,039ට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීම් 136,405ක් දක්වා පහළ ගිය නමුත් මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. කෙසේ වුවද 2022 වසරේ අනුරූප කාලපර් ච්ඡේදය තුළදී වාර්තා වූ සමුච්ඡිත සංචාරක පැමිණීම් 496,430ට සාපේක්ෂව 2023 වසරේ එම කාලපරිච්ඡේදය තුළ සමුච්ඡිත සංචාරක පැමිණීම 904,318ක් වාර්තා වී ඇත.

මේ වසරේ අගෝස්තු මාසයේදී සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 211ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය ඊට පෙර මාසයේදී ඩොලර් මිලියන 219ක් ලෙස ද පෙර වසරේ අනුරූප මාසයේදී ඩොලර් මිලියන 68ක් ලෙස ද වාර්තා වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා සංචාරක ඉපයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,304ක් ලෙස වාර්තා වන අතර එය 2022 වසරේ එම කාලයේදී වාර්තා වූ ඩොලර් මිලියන 833ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

මේ කාලපරිච්ඡේදය තුළ වැඩිම සංචාරක ඉපයීම් ප්‍රමාණයක් වාර්තා වූ රටවල් අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ රුසියාව ප්‍රධාන වෙයි.

Share.

Comments are closed.