ලෝක කුසලාන ක්‍රිකට් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ තවදුරටත් තමන් වෙතම රඳවාගත් නවසීලන්තය, හයිද්‍රාබාද් නුවරදී ඊයේ පැවැති තරගයේදී ලකුණු 99 කින් නෙදර්ලන්තය පරදවා පහසු ජයක් ලබාගත්තේය. නෙදර්ලන්තය සහභාගි වූ තරග දෙකම පරාජය වූ අතර නවසීලන්තය සහභාගි වූ තරග දෙකම ජයගත්තේය.

ලකුණු 323 ක ඉලක්කයක් කරා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 46.3 දී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223 කි. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 50 දී කඩුලු 7 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්තේය.

නවසීලන්ත පිතිකරුවන් ශතක ලබා නොගත් නමුත් අර්ධ ශතක තුනකින් සවිමත් වූ නවසීලන්ත ඉනිමට දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්වර්​ගේ පන්දු 17 කදී ලකුණු 38 ක් එක්විය. එනිසාම ලකුණු 300 කඩයිම පැනගත් නවසීලන්තය, නෙදර්ලන්තයට දුන්නේ අසීරු ඉලක්කයකි.

නෙදර්ලන්තය ඕවර 10 කින් ලකුණු 43 ක් ලබාගත් නමුත් 11 වැනි ඕවරයේදී මිචෙල් සෑන්ට්වර් පන්දුව අතට ගැනීමත් සමගින් සියල්ල වෙනස් විය. සිය දෙවැනි ඕවරයේදීම මැක්ස්වෙල් ඕ’ඩාවුඩ් දවාගැනීමට වමත් දඟ පන්දු යවන්නා සමත්විය.

සෑන්ට්වර්​ගේ ඕවර 10 නිමා වන විට නෙදර්ලන්තයේ කඩුලු 8 ක් බිඳ වැටී තිබිණ. මැතිව් හෙන්රි ඉතිරි කඩුලු දෙක දවාගත්තේ නවසීලන්තයට ලකුණු 99 ක ජයක් හිමිකර දෙමිනි.

Share.

Comments are closed.