ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලක්නව් නුවර අතල් බිහාරි වජ්පායි ඒකනා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 134 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 40.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි.

එහිදී දක්ෂ පන්ඳු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 33 කට කඩුළු 3 ක් බිඳහෙළූ අතර කේෂව් මහරාජ්, තබ්‍රේස් ශම්සි සහ මාකෝ ජැන්සන් කඩුළු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා රබාඩාට අනගි සහයක් දැක්වූහ.

ඕස්ටේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මානස් ලැබුෂේන් පන්ඳු 74 කදී ලකුණු 46 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. මිචෙල් ස්ටාක් (27) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 98 කදී ලකුණු 69 ක සම්බන්​ඳතාවක් ගොඩනැගීමටද ලැබුෂේන් සමත් වූ නමුත් ඕස්‍ට්‍රේලියානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්ඳුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 31l ක් ලබාගත්තේය. අවසන් ඕවර කිහිපයේදී පන්ඳු 22 කට මුහුණදුන් මාකෝ ජැන්සන් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට දායකත්වය දැක්වීය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්ඳු 118 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ක්වින්ටින් ඩි’ කොක් (109) සහ නායක ටෙම්බා බවුමා (35) දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්යක් ලබාදුන්හ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම දෙවැනි ශතකය ලබාගත් ඩි’කොක් එය හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් අලංකාර කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී වේගවත් ශතකයක් ලබාගත් ඒඩ්න් මාක්‍රම්, මෙම තරගයේදීද වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්ඳු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය. හෙන්රිච් ක්ලාසන් (29) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 50 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාක්‍රම් සමත් විය.

මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්ඳු රැකීම ඉතාමත් දුර්වල මට්ටමක පැවැති අතර ඔවුන් අතින් රැකගත හැකිව තිබූ උඩ පන්ඳු කිහිපයක්ම ගිළිහී ගියේය. 48 වැනි ඕවරය යැවූ පැට් කමින්සේග් පන්ඳු හමුවේ ඩේවිඩ් මිලර් ලබාදුන් උඩ පන්ඳුවක් මිචෙල් ස්ටාක් අතින්ද, මාකෝ ජැන්සන් ලබාදුන් උඩ පන්ඳුවක් මාකස් ස්ටොයිනිස් අතින්ද ගිළිහී යෑම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 300 සිමාව පසුකර යෑමට අවස්ථාව උදා විය.

දකුණු අප්‍රිකාව – ඕවර 50 කදී කඩුළු 7 ක් දැවී 31l

(ක්වින්ටින් ඩි’න්කොක් 109, ටෙම්බා බවුමා 35, රාසි වැන්ඩර් ඩසන් 26, ඒඩ්න් මාක්‍රම් 56, හෙන්රිච් ක්ලාසන් 29, ඩේවිඩ් මිලර් 17, මාකෝ ජැන්සන් 26, ග්ලේන් මැක්ස්වෙල් 34/2, මිචෙල් ස්ටාක් 53/2)

ඕස්ට්‍රේලියාව – ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 177

(ස්ටීවන් ස්මිත් 19, මානස් ලැබුෂේන් 46, මිචෙල් ස්ටාක් 27, පැට් කමින්ස් 22, කගිසෝ රබාඩා 33/3, කේෂව් මහරාජ් 30/2, තබ්‍රේස් ශම්සි 38/2, මාකෝ ජැන්සන් 54/2)

Share.

Comments are closed.