තම පිතිකරු හමුදාවේ ශක්තිය මේ යයි නැවත වරක් ප්‍රදර්ශනය කළ ඉන්දියානුවෝ ලෝක කුසලාන තරගාවලියේ තරග 5 කට පසුවත් සිය අපරාජිත වාර්තාව රැකගත්හ. ධරත්ගාලා නුවරදී ඊ​යේ පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දියානුවන් විසින් නවසීලන්තය කඩුලු 4 කින් පරාජය කරන ලදි.

ලකුණු 274 ක ඉලක්කයක් කරා ගිය ඉන්දී​ය කණ්ඩායම ඕවර 48 කදී කඩුලු 6 කට ලකුණු 274 ක් ලබාගත්තේය.

12 වැනි ඕවරයේදී, නායක රෝහිත් ෂර්මා දැවීයාමෙන් පසුව පිටියට පැමිණි විරාට් කෝලි, හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් පන්දු 104 කින් ලකුණු 95 ක් ලබාගත්තේය. සිය ශතකය ආසන්නයේ සිටි පිතිකරුවා ඒ වෙනුවෙන් දැක්වූ උනන්දුව නිසාම කණ්ඩායමේ ජය පෙනි පෙනී සිටියදී දැවී ගියේය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය පිල වෙනුවෙන් මොහොමඩ් ශාමි කඩුලු 5 ක් දවාගත් නමුත් ඩැරිල් මිචෙල් ලබාගත් ශතකය හේතුවෙන් නවසීලන්තයට නියමිත ඕවර 50 නිමාවේදී ලකුණු 273 ක් ලබාගත හැකිවිය. නවසීලන්ත ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ඉක්මනින් දැවී ගියහ. එහෙත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159 ක් එක්කළ රචින් රවීන්ද්‍ර (75) සහ ඩැරිල් මිචෙල් (130) දෙදෙනා නවසීලන්තය වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගත්හ. දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 178 දී බිඳ වැටුණ නමුත් ඩැරිල් මිචෙල් දිගින් දිගටම පිටියේ රැඳෙමින් නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 48 වැනි ඕවරයේදී මිචෙල් දැවී යන විට ඔහුගේ ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහර 5 කින් සමන්විතව තිබිණ.

නවසීලන්තය – ඕවර 50 කදී සියලු දෙනා දැවී 273 යි

(විල් යංග් 17, රචින් රවීන්ද්‍ර 75, ඩැරිල් මිචෙල් 130, ග්ලෙන් පිලිප්ස් 23, මොහොඩ් ගාමි 54/5, කුල්දීප් යාදව් 73/2)

ඉන්දියාව – ඕවර 48 කදී කඩුලු 6 ක් දැවී 274 යි

(රෝහිත් ෂර්මා 46, ෂුන් ගිල් 26, විරාට් කෝලි 95, ශ්‍රෙයාස් අයියර් 33, ලෝකේෂ් රාහුල් 27, රවීන්ද්‍ර ජදේජා නොදැවී 39, ලොකී ෆර්ගසන් 63/2)

Share.

Comments are closed.