කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26)  දහවල් 11.30 පමණ සිට ක්‍රියා විරහිත වී තිබේ.  එම තත්ත්වය හේතුවෙන්, විදෙස් ගත වීමට පැමිණි විශාල ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ප්‍රකෝපකාරීව සිටි බවට වාර්තා විණි.

ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබයි. නමුත් නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට ‍යන්ත්‍ර අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පවසා සිටියේය .
එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර තිබෙන බව සඳහන්. ජාත්‍යන්තර පොලීසියේ යාන්ත්‍රික දෝෂ නිසා සිදුවන මන්දගාමී තත්ත්වයන්ද  කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
අද දහවල් 12.20 පමණ වනවිට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පැවති  අතර , ගුවන් තොටුපොළ තුළ පවතින අධික මගී තදබදය ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බව ද වාර්තා වේ.

Share.

Comments are closed.