ශ්‍රී ලංකාව පුරා මේ දිනවල වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යාව ,උණ ඇතුළු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයන් වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය චන්දන ජීවන්දර මහතා කියා සිටී.

මෙම රෝග තත්ත්වය චීනයෙන් වාර්තා වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ සම්මිශ්‍රණයක් බව හෙතෙම අවධාරණය කලේය.
කෙසේ වුවද චීනය තුල ව්‍යාප්ත වන නියුමෝනියා තත්ත්වය, ශ්‍රී ලංකාව තුල පැතිරී ගියහොත් එය හඳුනා ගැනීම සදහා අවශ්‍ය පරීක්ෂණාගාර රට තුළ තිබෙන බවද සඳහන් කරයි.

වෛරසය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු නොමැත. උතුරු චීනයෙන් හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්වයක් පසුගිය 21 වනදා වාර්තා වූ අතර එම රෝගී තත්වය වාර්තා වූ දරුවන් ඇතුළු රෝගීන් රැසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. එම රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් ඇත්තේ දරුවන් අතරය.
ව්‍යාප්ත වෙමින් පවතින නව රෝගී තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, චීන රජයට දැනුම් දී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Share.

Comments are closed.