වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා සියලු අමාත්‍ය ධූර වලින් ඉවත් කර තිබේ. ඒ අනුව නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය ධූරය දැරූ හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වාරිමාර්ග නව අමාත්‍යවරයා ලෙස වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද දිවුරුම් දෙන ලදී.

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරය දරනු ලැබීය. තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව ඔහු සඳහන් කලේය.
ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට
අදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී  යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතා නිසි පිළිතුරක් ලබා නොදීමත් සමඟ, පසුව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රණසිංහ අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන්.

ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබියදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයිදැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී විමසා තිබේ. මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූයේ ඇයි ද යන්න ජනාධිපතිවරයා දෙවනුව නැගූ ප්‍රශ්නයයි. 

එසේ සිදු කිරීමට හේතු විමසා ඇති ජනපති,  ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් බවද පෙන්වා දී තිබේ.
එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තර වීම නිසා කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී තිබුනේය.
කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වනු ඇතැයි දේශපාලන විචාරයකයෝ පවසති.

Share.

Comments are closed.