ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයීම් සඳහා වූ වැඩසටහනේ (PISA) නවතම අධ්‍යයනයක​ට අනුව, ඩුබායි පෞද්ගලික පාසල් පළමු වරට ගණිතය, විද්‍යාව සහ කියවීම පිළිබඳ ලොව හොඳම 14 අතරට පැමිණ තිබෙනවා.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) විසින් සෑම වසර තුනකට වරක් සංවිධානය කරනු ලබ​න ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයීම් සඳහා වූ වැඩසටහන විසින් 15 හැවිරිදි දරුවන්ට ඔවුන්ගේ කියවීම, ගණිතය සහ විද්‍යා දැනුම සහ කුසලතා සැබෑ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව මනිනු ලැබේ.

ඩුබායි පෞද්ගලික පාසල් සාමාන්‍ය ලකුණු 497ක් සමගින් ගණිතය සඳහා ගෝලීය වශයෙන් නවවැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඩුබායි පාසල් කියවීම සඳහා සාමාන්‍ය ලකුණු 498ක් සමඟින් ගෝලීය වශයෙන් 13 වැනි ස්ථානයටත්, විද්‍යාවෙන් 14 වැනි ස්ථානයටත් පත්ව ඇත්තේ සාමාන්‍ය ලකුණු 503ක් සමඟිනි.

ඩුබායි දැනුම හා මානව සංවර්ධන අධිකාරියේ (KHDA) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අබ්දුල්ලා අල් කරම් මෙසේ පැවසීය: “මෙම වසර මුලදී අපි ඩුබායිහි පාසල් සිසුන් බඳවා ගැනීමේ විශාලතම වැඩිවීම නිවේදනය කළෙමු. අද, ඩුබායි පෞද්ගලික පාසල් විසින් මෙතෙක් ලබා ඇති ඉහළම ශ්‍රේණිගත කිරීම නිවේදනය කරන්නෙමු. විදුහල්පතිවරුන්ගේ නායකත්වය, ගුරුවරුන්ගේ ප්‍රවීණත්වය සහ සිසුන්ගේ අධිෂ්ඨානය තුළින් අපගේ පාසල් ජාතික න්‍යාය පත්‍ර ඉලක්කවලින් ඔබ්බට ගොස් ලෝකයේ හොඳම ඒවා අතර​ට පැමිණෙමින් ඔවුන්ගේ ස්ථානය නිවැරදි බව පෙන්වා ඇ​​ත.”

“ගුණාත්මකභාවය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ කැපවීම අපගේ පෞද්ගලික පාසල් ප්‍රජාව අද පවතින තත්ත්වයට පත් කර ඇති අත​ර ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් නායකයින්​ට, ගුරුවරුන්​ට, දෙමාපියන්​ට සහ සිසුන්ට අපි කෘතඥ වෙනවා”

PISA 2022 අධ්‍යයනය සඳහා විවිධ විෂයමාලා අටක් ඉදිරිපත් කරන පාසල් 171 කින් සිසුන් 9,250 ක් සහභාගී විය.

Share.

Comments are closed.