ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සදහා “හරිත බුමුතුරුණු” (Green Carpet ) ඊ​යේ දින සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම බුමුතුරුණු භාවිතයෙන් ගුවන් යානා වල පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය අඩු වන අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 21ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ඉතිරි කර දීමට සමත් වන බවට ගනනය කර තිබේ. ඊට අමතරව කාබන් විමෝචනය අවම කර ගැනීම මගින් වාර්ෂික පාරිසරික බලපෑම ටොන් 248.79 කින් අඩු කර ගැනීමට ද දායක වෙනවා.

මෙම හරිත බුමුතුරුණු සැහැල්ලු බරින් යුක්ත වන අතර ඒවා ඉවත ලන ධීවර දැල්, ප්ලාස්ටික් සහ රෙදි කැබළි ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් සකසන විශේෂිත නයිලෝන් වර්ගයකින්, ඉන්ධන සහ ජලය අවම වශයෙන් භාවිතා කර නිපදවන අතර, ඒවා ස්විට්සර්ලන්තයේ Lantal Textiles ආයතනයේ නිෂ්පාදනය කෙරේ.

මෙය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෝලීය පරිසරය සුරැකීම සදහා ගෙන ඇති තවත් සාධනීය පියවරක් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2009 වසරේ මෙවැනි වැඩසටහනක් මගින් Planet Friendly Flights ලෙස ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත් වී තිබේ . එසේම 2016 වසරේ දී ආසියා – පැසිෆික් කළාපයේ දෙවන අඩුම කාබන් විමෝචනය කරන ගුවන් සේවය ලෙස​ද සංචාරක ව්‍යාපාරික ස​ඟරාවක් වන Business Traveller මගින් ශ්‍රේණිගත කොට තිබේ.

එසේම 2022 වසරේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් හදුන්වා දුන් “මතක” වැඩසටහන ලෝකයේ හොදම ගුවන් සේවා පරිසර හිතකාමී වැඩසටහන ලෙස ජාත්‍යන්තර සම්මාන උළෙලකදී  Sheikh Mohammed Bin Rashid Al Mactoum Global Aviation ලෙස නම් කර ඇගැයීමකට ලක් කර තිබුණි.

Share.

Comments are closed.