ඉන්දියාවේ ව්‍යාප්තව ඇති ප්‍රතිශක්තිය මඟ හරින හා වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයක් වන JN.1 වයිරසය ආසාදිත කිසිදු රෝගියකු දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම නව උප ප්‍රභේදය ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟ මෙරට සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොවිඩ් වයිරසයේ ඔමික්‍රෝන් නව උප ප්‍රභේදයක් ලෙස JN.1 හඳුනාගෙන ඇති අතර එම වයිරසය වැලඳුණු කාන්තාවක කේරළයෙන් වාර්තා වී තිබේ. විදේශයක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බවත් ඒ පිළිබඳ සැම විටම අවධානයෙන් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

JN.1 වයිරස් ප්‍රභේදය අනෙකුත් සියලු උප ප්‍රභේදවලට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන, දැඩි ලෙස ප්‍රතිශක්තිය මඟහරින, වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. උණ, නාසයෙන් දියර ගැලීම, උගුරේ අමාරුව, හිසරදය, ආමාශ අන්ත්‍ර ආශ්‍රිත වේදනාව යනාදිය මේ නව උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ වේ. මෙම වයිරස් ප්‍රභේදය අගෝස්තු මාසයේ සිට අමෙරිකාවෙන් ද වාර්තා වී තිබේ.

Share.

Comments are closed.