ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ළූණු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දීය රුපියල් 39 – 40 අතර වූ ලොකු ළූණු කිලෝ එකක තොග මිල මේ වන විට ඉන්දීය රුපියල් 20 – 21 අතර මිලකට පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දීය ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ළූණු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත් එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වල වැඩිදුරටත් සඳහන්.

ලොකු ළූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ළූණු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ලොකු ළූණු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ළූණු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ආසියානු ජනතාව වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ එළවලු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ.
පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොකු ළූණු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අපනයනය කර ඇති බවත් අපනයනය තහනම් කිරීමේ වේදනාව ආසියානු රටවලට තදින් දැනීමට පටන් ගෙන ඇති බවත් එම තොරතුරු වල දැක්වේ.

Share.

Comments are closed.