විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 450000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යනවග සොයා බැලිය යුතුයි. එසේම වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lkවෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Share.

Comments are closed.