ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් එය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ළඟා වී නොමැති බවද පීටර් බෲවර් මහතා පැවැසුවේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය අදායම වැඩිකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දේපල බද්ද ශ්‍රී ලංකාවට සහාය වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11දා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ආරම්භ කළ අතර එහිදී සතියක් පුරා මෙරට බලධාරීහු සමඟ සාකච්ඡාවල නිරත වූහ. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ පළමු සමාලෝචනයට අනුමැතිය ලබා දීමෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව එම නිලධාරීහු කණ්ඩායම අධ්‍යයනයක නිරත විය.

Share.

Comments are closed.