ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද (25) පෙරවරුවේ දළදා මාලිගාවේදී පැවැත්වෙයි.

සතර මහා මංගල්‍යයන්ගෙන් සෑම වසරකම ප්‍රථමයෙන් අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර එහිදී දළදා මාළිගාවට අයත් කුඹුරුවලින් නෙළා ගන්නා ප්‍රථම අස්වැන්න පෙරහරින් දළදා මාළිගාව වෙත රැගෙනවිත් දළදා සමිඳුන් උදෙසා පූජා කිරීම සිදු කෙරෙයි. සෑම වසරකම දුරුතු පුන් පොහෝ දින අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයකි.

අලුත් සහල් මංගල්‍යයෙන් ආරම්භ වන ශ්‍රී දළදා මාළිගාවේ සතර මහා මංගල්‍යයන්ට අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය අයත් වෙයි. අලුත් සහලින් පිසින ලද බුද්ධ පූජාව තේවාව භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් දියවඩන නිලමේවරයාගේ සහභාගිත්වය ඇතිව දළදා සමිඳුන්ට පූජා කිරීම මෙහි දී සිදු වේ.

Share.

Comments are closed.