සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභ සාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ළමයින් සහ තරුණ තැනැත්තන් සම්බන්ධ පනතට එකතු කරන ලද නව සංශෝධන සාදරයෙන් පිළිගන්නා බවත් මෙය දීර්ඝ කාලයක සිට අපේක්ෂා කරන ලද පියවරක් බවත් යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ළමයින් සහ තරුණ තැනැත්තන් පනත 1939 වසරේ සිට ළමයින් සඳහා යුක්තිය පසිඳලීමට භාවිත කරනු ලබන ආඥා පනත වේ. මෙම පනත මගින් මීට පෙර ආවරණය කරනු ලැබුවේ වයස අවුරුදු 16 දක්වා දරුවන් පමණකි.නව සංශෝධන මගින් එම වයස අවුරුදු 18 දක්වා වැඩි කර ඇති බවත් ගුරුවරුන්, භාරකරුවන් සහ දෙමාපියන් විසින් ළමයින්ට සහ නව යෞවන වියේ පසුවන දරුවන්ට ශාරීරික දඬුවම් භාවිත කිරීම පිළිගෙන තිබූ වගන්තියද ඉවත් කර ඇති බවත් යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේය.

නව සංශෝධන ක්‍රියාත්මක වීම තුළින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුකූලව පවත්වාගෙන යාමට දායක වන බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දුන්නේය.

Share.

Comments are closed.