එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුව මෙම මස 19 සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත් වීමට කටයුතු යොදා ඇත.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් ද ඇතුළුව 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සදහා රටවල් 35ක රාජ්‍ය නියෝජිතයින් අද(17) සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා හෙට(18 )දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වන බව මේ වනවිටත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් ගණනාවක අමාත්‍යවරු සමග ලබන 19 වැනිදා හිල්ටන් හෝටලයේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම සමුළුව පිළීබඳව අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා , පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුව මෙය වන බවයි.

වර්තමාන රජයේ ආර්ථික වැඩ පිළිවෙළට මෙන්ම ජනජීවිතය නංවාලීම සඳහා එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය කාලය තුළ ඩොලර් මිලියන 100කට අධික මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මෙරටට ලබා දී ඇති අතර එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා පුද්ගලිකවම මෙරටට ලබා දුන් සහයෝගය අතිශයින් අගය කළ යුතු බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම සමුළුව හැම අතින්ම ශ්‍රී ලංකාවට වාසිදායක වන බව සඳහන් කළ අමාත්‍යවරයා අවුරුදු 57කට පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනගන වැඩ පිළිවෙළ කෙරෙහි ලෝකය තබා ඇතී විශ්වාසය තහවුරු කරන්නක් බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

Share.

Comments are closed.