වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ (26) අනුමැතිය ලබාදී ඇත.
අග්‍රාමාත්‍යවරයා, සාගර කාරියවසම්, නිමල්  සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය  අනුලා විජේසුන්දර  යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කල යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී  ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂිම්  මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය දී ඇතැයි වාර්තා වේ. ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සහ ආචාර්ය ප්‍රතාප් රාමනුජන් මහතා ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
මේ අනුව කතානායකවරයා තීරක ඡන්දය  පක්ෂව පාවිච්චි කිරීමෙන් යෝජනාව ස්ථිර කෙරුණි. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථීර කිරීමට අදාල යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ බව සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ රැස්විය.
ඔහු ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයායි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. (1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන් හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (26දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.

කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා 1998 දී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක් විය.

Share.

Comments are closed.