ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවන් විසින් නවීනතම ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කිරීමට නියමිත බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අමෙරිකානු ගුවන් හමුදාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන Beechcraft King Air 360ER ගුවන් යානය එළඹෙන ජූනි මාසයේදී මෙරටට ගෙන එන බවත් ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව පරිත්‍යාග කරන Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානය ඒ අනුව එළඹෙන මැයි මාසයේදී මෙරටට ගෙන එන බව සඳහන් වේ. මෙම ගුවන් යානා අලුත්ම තත්ත්වයේ ගුවන් යානා බව ද ඔහු සඳහන් කලේය.
ගුවන් යානා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමා පසුගිය දා සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ බව සඳහන් කළ ගුවන් හමුදාපතිවරයා එහි දී සාකච්ඡා වට තුනකට සහභාගි වූ බව ද C130 වර්ගයේ ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදෙන ලෙස එම සාකච්ඡා අතරතුර අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කළ බව ද සඳහන් කරයි. මේ අතර මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡා අතරතුර ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ප්‍රකාශයක් කළ බව ද ඒ මහතා සිහිපත් කළේය.
කෙසේ වුවද මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බෙහෙවින්ම සාර්ථක මට්ටමක පවතින බව පෙන්වාදුන් ඒ මහතා මෙම ගුවන් යානා ලැබෙන්නේ නම් එක් යානයක් හෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා යෙදවිය හැකිවන බව ද අමෙරිකාවෙන් ඉල්ලා තිබෙන C130 වර්ගයේ ගුවන් යානා දෙක ඉතාම සාධාරණ මිලකට ලබාගැනීම වෙනුවෙන් සාකච්ඡා කරගෙන යන බව ද පෙන්වා දුන්නේය. මේ අතර ඉන්දියාව ද මෑත කාලයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදුන් බව සිහිපත් කළ උදේනි රාජපක්ෂ මහතා එය අගය කළයුතු බව ද පැවැසීය.