ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කලේය.

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමකදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මේ බව සඳහන් කර තිබේ.

එම තොරතුරුවලට අනුව 2023 වසරේදි ලාදුරු රෝගීන් වැඩියෙන්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 259 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 168 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80 ක්ද හඳුනා ගෙන ඇත.

 2019 වසරේදී ලාදුරු රෝගීන් 1660 ක් 2020 දී රෝගීන් 1213 ක්, 2021 වසරේදී රෝගීන් 1026 ක් ,2022 වසරේදි රෝගීන් 1401 ක් සහ 2023 වසරේදි රෝගින් 1550 ක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.

ලාදුරු මර්දන ව්‍යාපාරය පවසන ආකාරයට 2023 වසරේදී සැප්තැම්බර් මාසයේදි පමණක් ලාදුරු රෝගීන් 175 දෙනෙකු හඳුනා ගෙන ඇත.  
කෙසේ වුවද එම ව්‍යාපාරය පවසන්නේ රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කළද එය රෝගය ව්‍යාප්ත විමේ වැඩිවිමක් නොව සැඟව සිටින රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති නිසා එම රෝගීන් හඳුනා ගැනීම නිසා සිදු වන්නක් බවයි.

Share.

Comments are closed.