ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ආර්ථික අර්බුදයත් සමඟ රෝහල් තුල උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවී තිබෙන බවත් ව්‍යාජ බෙහෙත් මිලදී ගැනීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කලේය.

අයවැයෙන් 4% ක් ශ්‍රී ලංකාව සෞඛ්‍යයට වෙන් කරන බවත් මෙරට සෞඛ්‍ය සේවය කලාපයේ හොඳම සෞඛ්‍ය සේවයන්ගෙන් එකක් ලෙස නමක් දිනා සිටි බවත් විදෙස් මාධ්‍ය වල සඳහන් වේ.

මේ වනවිට වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව අත්හැර යාමටද පෙළඹී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්හ.
පිළිකා රෝගීන් විශාල පිරිසකට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ලබා දෙන මහරගම අපේක්ෂා රෝහලටද ඖෂධ හිඟය බලපා ඇති බවත් කිලෝ මීටර 100 ගණනක් ගෙවා ගෙන අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට එය විශාල ගැටලුවක් වී ඇත.

තවමත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම රෝහල තුළ සිදුවුණද ඇතැම් ඖෂධ පුද්ගලික ඔසුසල් වලින් මිලදී ගෙන පැමිණෙන ලෙස රෝගීන්ට නියම කරන බවත් ඒ සඳහා මසකට ලක්ෂයක පමණ මුදලක් රෝගීන්ට වැය කිරීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය. ගැටලුව නම් එලෙස මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කිරීමට හැකියාවක් නොමැති රෝගීන්ද සිටීමය. බෙහෙත් මිලදී ගැනීම සඳහා නෑදෑයන්ට සහ මිතුරන්ට ණය වීමට පිළිකා රෝගීන්ට සිදුව ඇති බවත් නොදැනුවත්මව ඇතැම් ඖෂධවල මිලද ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කලේය.

Share.

Comments are closed.