අති කාල සේවා වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස් වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අමිල සංජීව මහතා පැවසුවේ, බලධාරීන්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවය. රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත්වී පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒ, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි.
වර්ජනයට රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය එක්ව සිටි.

මේ අතර ආනයනික බහාලුම් 4000ක් පමණ වරායේ සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, බහාලුම් ප්‍රවාහන කටයුතු මේ වනවිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බවයි.

වර්ජනය අවසන් කළහොත් ගොඩ ගැසි ඇති බහාලුම් නිෂ්කාෂණය කිරීමට සති 3ක් හෝ 4ක් ගත වනු ඇතැයි සනත් මංජුල මහතා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කලේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලුම් නිශ්කාෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිශ්කාෂණ කටයුතු පමණක් සාමාන්‍ය පරිදි සිදුවන බව ද ඔහු පැවසුවේ ය.
මුදල් අමාත්‍යාංශයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, නව ආර්ථීක ප්‍රතිසංස්කරණවලට රාජ්‍ය ආයතන 15ක් සිය එකඟතාව පළකර ඇති බවත්
ශ්‍රී ලංකා රේගුව පමණක් ආර්ථීක ප්‍රතිසංස්කරණවලට එකඟවී නැති බවය.

Share.

Comments are closed.