දැනට අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි ද ඒ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5ක් බවද අමාත්‍යවරයා කීය.

මේ වනවිට මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී ඇති අතර දේශීය පුවක් විශේෂවලට අමතරව එක් ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇතැයි අමාත්‍යාංශය පවසයි. “මාතලේ සිංහ”, “මාතලේ චතුර” හා “මාතලේ රාජා” එම පුවක් විශේෂ වේ.
පුවක් අපනයනය කිරීම මගින් මාසිකව රටට ඇමරිකන් ඩොලර් මිලියන 50ක ආදායමක් ලැබෙන අතර වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් දැනට උපයනු ලබයි.

2021 වර්ෂයේ මෙරට පුවක් මෙට්‍රික් ටොන් 23,890ක් අපනයනය කර ඇති අතර 2022 දී මෙට්‍රික් ටොන් 24,323ක් අපනයනය කර තිබේ. 2023 වර්ෂයේ දී මෙට්‍රින් ටොන් 34,771ක් අපනයනය කිරීම මගින් මෙරටට ලැබී ඇති ආදායම රුපියල් මිලියන 86,680කි.

Share.

Comments are closed.