මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අගමැති ලි කියැන් මහතා, චීන සංචාරයක යෙදී සිටින අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට අවධාරණය කර තිබේ.

ආර්ථික පසුබෑමකින් පසු ශ්‍රී ලංකාව අත් කරගත් ආර්ථික ප්‍රගතිය බීජිංහි පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අගමැතිවරයා අගය කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ඔබ සහ ඔබේ රජය අඛණ්ඩව කටයුතු කළා යනුවෙන් පවසමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බවත් ජාත්‍යන්තර සමුළුවලදී චීනයට සහාය දක්වන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා තම රට සහාය දෙන බව අගමැති ලි කියැන් පැවැසීය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටීම සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න හෝ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන විට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් අගමැති ගුණවර්ධන මහතා චීනයට ස්තූතිය පළ කළේය.

මෙම අවස්ථාවට මහජන චීන සමූහාණ්ඩුවේ ඇමැතිවරු, ශ්‍රී ලංකා රාජ්‍ය ඇමැතිවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Share.

Comments are closed.