ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨානව මිනිස් සංහතිය පාපයෙන් ගලවා ගැනීමේ උදාරතර අරමුණ උදෙසා ලොව බිහි වූ පාස්කු ඉරිදා දිනය අදයි.

පාවාදීමකින් පසු, පිලාත් ආණ්ඩුකාරයාගේ අසාධාරණ විනිශ්චයට ලක් වූ ජේසුස් වහන්සේ ජෙරුසෙලම් නුවර ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසිය මත දිවි පූජා කළහ.

උන්වහන්සේට විවිධ වධ හිංසා පමුණුවා, අපවාද කරමින් කුරුසියේ තබා ඇණ ගැසුවද, සියල්ලන් කෙරෙහි දයාවෙන් උන්වහන්සේ, එම වේදනා විඳදරා ගත්තේ ය‍.

එදින රැයේ මහ වැසි ඇද හැළුණු අතර, ජේසුස් වහන්සේගේ නිසල සිරුර කුරුසියෙන් නිදහස් කර ගල් ලෙනක් තුළ තැන්පත් කෙරිණි.
විමුක්තිදායකයාණන් මරණයෙන් උට්ඨාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූයේ, අද වැනි ඉරු දිනකදීයි.

කිතුනු බැතිමතුන් ඉතා උතුම් වූ රාත්‍රිය ලෙස ඊයේ දිනට (30) යෙදුණු ආලෙලුයියා සෙනසුරාදාව සළකනු ලබයි.

එහිදී ඉතා දීර්ඝ දිව්‍ය පූජා යාගයකට සහභාගී වන ඔවුන් අද (31) පාස්කු ඉරිදාව සමරන්නේ මහත් බැතියෙනි.

මේ අතර පාස්කු දිනය වෙනුවෙන් සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ අරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ යටතේ දිවයින පුරා පිහිටි කිතුණු දේවස්ථාන 1,873 ක් සඳහා පොලිස් නිලධාරීන් 6,522 ක් යොදවා ඇති බවයි.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 320 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,746 යොදවා ඇතැයි ඒ මහතා  සඳහන් කළේ ය.

Share.

Comments are closed.