2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (06) පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්විමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ‌ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු කරන ලද සහල්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීමට ගොවි ජනතාව සෑම ප්‍රදේශයකම සිට අනුරාධපුරයට පැමිණිම සිරිතකි.

එළඹෙන යල කන්නයේ අස්වනු සරුසාර කර ගැනීමට මෙන්ම මෙම වර්ෂය පුරාම කලට වේලාවට වර්ෂාව ලැබ සහල් ඇතුළු සියලු ධන ධාන්‍යයෙන් රටට ලැබෙන අස්වැන්න වැඩි වී ගොවි ජනතාව මෙන්ම රටේ සියලුම ජනතාවට පාරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට දෙවියන් බුදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම අලුත් සහල් මංගල්‍යයේ අරමුණ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Share.

Comments are closed.