අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබා දීමට‍ රජය තීරණය කර ඇත.
එලඹෙන උත්සව සමයට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා සේවකයන්ට අවස්ථාව ලබා දීම මෙහි අරමුණයි.

අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලේය.
ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව රුපියල් 10,000ක මුදලක් එක් වනු ඇති.

එසේම මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර රාජ්‍ය නිලධාරින් සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එළැඹෙන 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් නිළධාරීන්ට උපදෙස් ලබා දීම සඳහාය.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ. එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.

තවද මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද එහි සඳහන්ව තිබේ.
දැනට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙස  විෂය භාර අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.

ලබන 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ සිටින බවය
මෙවර අලුත් අවුරුදු නිවාඩුව සති අන්තයකට යෙදී ඇති බැවින් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස, පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

Share.

Comments are closed.