පළමුවරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර තිබේ. ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත් ව ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පුද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර බීජ පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් සිදු කර තිබේ.

එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගනිමින් මෙරට පුද්ගලික අංශය විසින් සිදු කර ඇත.
ඒ අනුව මෙම වසර තුළ පළමුවරට මෙරටින් ඉහත සඳහන් කළ බීජ වර්ග යම් ප්‍රමාණයක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

ඊයේ (06) පස්වරුවේ අමාත්‍යවරයා පැල්වෙහෙර CIC ගොවිපොළේ පර්යේෂණ වගාවන් නිරීක්ෂණය කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙතෙක් විවිධ බෝග වර්ග සදහා බීජ වර්ග විදේශ රටවලින් මෙරටට ආනයනය කළ ද මේ වනවිට අපේ රටේ වගාවට ඉතාමත් උචිත බීජ නිෂ්පාදනය කෙරෙමින් තිබීම අගය කළ යුතු යැයි ද සඳහන් කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් MICH 1 -2 මිරිස් ප්‍රභේදය මේ වනවිට රට පුරා ඉතාමත් සාර්ථකව අස්වනු ලබා දෙමින් ඇත. එම මිරිස් වගාවෙන් අඛණ්ඩව මාස 09ක් අස්වනු ලබා ගැනීමට හැකියාව තිබේ. මේ අයුරින්ම සාර්ථක ලෙස බඩඉරිඟු ඇතුළත් තවත් එළවළු බෝගවර්ග ගණනාවක් හා පලතුරු ප්‍රභේද ගණනාවක් සම්බන්ධව සිදු කළ පර්යේෂණ සාර්ථකවීම මත ඉදිරියේ දී මෙරටට බීජ ආනයනය කිරීම නැවැත්වීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

මේ නිසා බීජ වර්ගවල මිල ගණන් සියයට 50කින් පමණ අවම වනු ඇත. අපේ රටේ ගොවීන්ට ආනයනික බීජවලට ඉතාමත් අඩු මිලකට මෙම බීජ වර්ග මිල දී ගැනීමට අවස්ථාව සලසන්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලති පරසුරාමන් මහත්මිය ද සහභාගි වූවාය.

Share.

Comments are closed.