රුසියාවේ කසකස්තාන දේශසීමාව අසල පිහිටි ඕර්ස්ක් නුවර වේල්ලක් හදිසියේ පුපුරා යෑමෙන් නිවාස හයදහසකට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වේල්ල පුපුරා විශාල ජල කඳක් ඕර්ස්ක් නුවර යට කර ඇත.  ආපදා සේවකයන් පුද්ගලයන් හාරදහසකට අධික පිරිසක් මුදා ගැනීමට සමත් වී ඇති අතර, ඔවුන් අතර කුඩා දරුවන් දහසක් පමණ සිටි බවත් වාර්තා වේ.

අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන් 336 දෙනකු ඇතුළුව පුද්ගලයන් 1164 දෙනකු වහාම ඉවත් කිරීමට පියවර ගත් බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය දින ගණනාවක් පුරා ඕර්ස්ක් නුවරට දැඩි වර්ෂාපතනයක් ඇද වැටී ඇති අතර, නියමිත ජල ධාරිතාව ඉක්මවා යෑමෙන් ඇති වූ පීඩනය වේල්ල පුපුරා යෑමට හේතුව බව වාර්තා වේ. ඕර්ස්ක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද ටාස් පුවත් සේවය සඳහන් කළේය.

Share.

Comments are closed.