සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රයක් වන සාම්ප්‍රදායික අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් 2.2 ක ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම පසුගිය වසරට (2023) වඩා සියයට 2 කින් පමණ සුළු පහත වැටීමක් ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය කියයි.

‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවත්වාගෙන යන PublicFinance.lk ප්‍රචාරය කළ අවුරුදු රසකැවිලි මේසයට දැරිය යුතු වියදම පිළිබඳව අධ්‍යනයකින් මෙම තොරතුරු හෙළි වූ බවත් පසුගිය වසරේ (2023) රසකැවිලි සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය මිල 2019 වසරට සාපේක්‍ෂව 2.3 කින් ඉහළ මට්ටමක පැවතුණ ද මෙම වසරේ එහි සුළු අඩුවීමක් ඇති බවත් එම ආයතනය කියයි.

මෙම විශ්ලේෂණයේදී පුද්ගලයන් 4 ක් හෝ 5 කින් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් ආහාර සම්බන්ධ ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක ආහාර වට්ටෝරුව පදනම් කරගත් බවත් රසකැවිලි නිෂ්පාදනයට වැය වන විදුලිය සහ ගෑස් මෙහිදී සැළකිල්ලට ගෙන නොමැති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කලේය.

මෙම සමීක්‍ෂණය සඳහා 2019, 2023 සහ 2024 වන වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Share.

Comments are closed.