ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීම් පදනම මත ශිෂ්‍යයන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන Z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීම් පදනම මත වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධිය හැදෑරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීමට ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2024 අධ්‍යයන වසරේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයදුම්කරුවන් ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය පාඨමාලාව සඳහා බැඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි සඳහන් වේ. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 1988 අංක 27 දරන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය (සංශෝධන) පනත මඟින් විශ්වවිද්‍යාලයක් බවට පත්කර ඇත.

සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාව අනුව වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ශිෂ්‍ය භට නිලධාරීන් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය ((MBBS) උපාධි පිරිනැමීමට 2011 වසරේදී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඇත. ඒ අනුව දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම්ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි වේ.

Share.

Comments are closed.