ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපති රිකාඩෝ පුලිට් සඳහන් කරයි. 

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ද සහය දක්වන බවයි.

උප සභාපති රිකාඩෝ පුලිට් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවකදී ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

උප සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි. 
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර නිල ණය හිමි කමිටුවේ සම සභාපති ලෙස ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා පවසයි.

ඒ බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවකදී ය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සබඳතාව නැවත තහවුරු කරමින් ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය ඔහු විසින් අගය කර තිබේ.

රිකාඩෝ පුලිටි මහතා ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණය ද අගය කිරිම විශේෂත්වයකි. 
එහි දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම පිළිබඳව ඔහු සහතික වී ඇත.

Share.

Comments are closed.